Friday, July 1, 2011

ඇමෙරිකානු මානව හිමිකම් කෙරුවාව මෙන්න......


පසුගියදා චීන රාජ්‍ය කවුන්සලය හෙවත් අමාත්‍ය මණ්ඩලයේ තොරතුරු කාර්යාලය විසින් ඇමෙරිකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ වාර්තාවක් නිකුත් කොට තිබිණි. චීන රජය එම වාර්තාව නිකුත් කොට ඇත්තේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 08/04/2011 දින නිකුත් කෙරුණු මානව හිමිකම් වාර්තාවට පිළිතුරු ලෙසය. ඇමෙරිකාව එම වාර්තාවෙන් ශී‍්‍ර ලංකාව සහ චීනය ඇතුලූ රටවල් රාශියක ඊනියා මානව හිමිකම් තත්වය දැඩි විවේචනයට ලක්කොට තිබුණි. පිටු 40කින් පමණ සමන්විත චීන රජයේ එම දීර්ඝ වාර්තාවෙන් උපුටා ගත් ආකාරයට ඇමෙරිකාවේ පැටිකිරිය මෙසේය,

1. 2009 වසරේදී ඇමෙරිකානු පුරවැසියන්ට එරෙහිව ඒ රට තුළදී සිදුවූ ප‍්‍රචණ්ඩ අපරාධ ප‍්‍රමාණය මිලියන 4.3 කි.දේපළ හානි අපරාධ ප‍්‍රමාණය  මිලියන 15.6 කි.දේපළ සොරකම් වලදී 47% ක අවස්ථාවල ගිනිඅවි භාවිතාකොට ඇති අතර පුද්ගලයින්ට එරෙහි අපරාධ වලදී ගිනිඅවි භාවිතා කළ අවස්ථා ප‍්‍රතිශතයක් ලෙස 27% කි.ඔවුන් අතරින් මහ පාරේ නිදියන හෝ කඳවුරුවල ජීවත් වන පවුල් සංඛ්‍යාව 170,000 කි.
2. මේ වන විට ඇමෙරිකන් සිරගෙවල්වල මිලියන 1.7 ක් ගැහැණු සහ පිරිමි සිරබත් කති. එහෙත් එහි අවම පහසුකම් හෝ ඇත්තේ එම ප‍්‍රමාණයෙන් අඩකටත් අඩු ප‍්‍රමාණයකටය.
3. 2010 ජූනි 24 වැනිදා ඇමෙරිකානු සෙනෙට් සභාව විසින් ගන්නා ලද තීන්දුවක් අනුව ෆෙඩරල් ආණ්ඩුවට ඕනෑම වේලාවක අන්තර්ජාල පහසුකම් කපා දැමිය හැකිය.එය මාධ්‍ය නිදහස හෝ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකෙන්නේ නැත.
4. ඇමෙරිකන් ජනගහනයෙන් මිලියන 44ක් ජීවත් වන්නේ අන්ත දුප්පත්කමේ රේඛාවට පහළිනි. 
5. ඇමෙරිකාවේ පවුල් වලින් 15% කට ආහාර සුරක්‍ෂිතතාව නැත එනම් ඔවුන්ගේ ආහාර වේල ලැබෙනවාද යන්න පිළිබඳ ඔවුනට කිසිදු සහතිකයක් නැත.
6. ඇමෙරිකන්  ජනයාගෙන් මිලියන 50කට සෞඛ්‍ය රක්‍ෂණයක් නැත.ඇමෙරිකාවේ ලංකාවේ මෙන් නිදහස් සෞඛ්‍ය සේවයක් නොමැති නිසා අසනීප වූ විට එම මිලියන 50ක් වූ ජනතාවට ඇත්තේ දෙවියන් වහන්සේගේ පිහිට පමණි.
7. ඇමෙරිකාවේ පුද්ගල වෛරී සිතුවිලි නිසා 2009 දී සිදුවූ අපරාධ ප‍්‍රමාණය 6,600 කි.ඉන් 4,000 ක් ජාතිවාදී වූ අතර 1,600 ක් ආගම්වාදී විය.
8. ඇමෙරිකාවේ කාන්තාවන්ගෙන් 90% ක් රැකියා ස්ථානයේදී ලිංග හේදය මත නොසැලකිල්ලට ලක්වේ. එමෙන්ම වසරකට කාන්තාවන් මිලියන 20ක් ලිංගික අපයෝජනයට සහා දූෂණයට ලක්වේ.තවද ගෘහනීන්ගෙන් 25%ක් නිවසේදී සැමියන්ගේ ප‍්‍රචණ්ඩත්වයට ලක්වේ.
9. ඇමෙරිකාවේ වසරකදී අපචාරයට සහ හිංසනයට ලක්වන ළමයින් ප‍්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් මිලියන 30කි. නිල වශයෙන් වාර්තා වන ප‍්‍රමාණය එසේ වුවත් බාහිර සංවිධාන පවසන්නේ වාර්තා නොවන ප‍්‍රමාණය ඊට තුන් ගුණයකට වඩා අධික බවයි.
10. ඇමෙරිකාව විසින් නායකත්වයක් දෙන ලද නේටෝ ප‍්‍රහාරය මගින් ඉරාකයේදී සහ ඇෆ්ගනිස්ථානයේදී නිල වශයෙන් හඳුනාගත් ආකාරයට මරා දැමූ සිවිල් වැසියන් ප‍්‍රමාණය 109,535 කි.නමුත් නිල වශයෙන් පිළිගන්නා සහ වාර්තා නොවූ මරණ සියල්ල එක්කල විට එම ප‍්‍රමාණය මිලියනයක් ඉක්මවා යන බවට තොරතුරු ඇත.@.milinda.@